Saturday, May 21, 2016

මා දුටු පාලම යට සහ පාලම උඩ - මේ සිනමාව නම් නොවේ....

මහා පොළව ඉරිතලා ගිය කඨෝර ඉඩෝරයට තිත තබමින්, වැහි දිය පොදක් අහස් කුසින් මතු විය. නොනිමි ග්‍රීෂ්මයක වේදනාව දරාගත නොහැකිව කල් මැරූ උදවියගේ දෙස් දෙවොල් නිසාවෙන් වැහි වාළාහක දෙවියන්ගේ මෑණියන් හට කිවිසුම් ගිය නිසාදෝ, වැහි වළාහක දෙවියන් මෙවර වැඩ ඇල්ලුවේ වැරදි නැකතය.

ඉරි තැලී ගිය මහා පොළොවට අස්වැසිල්ලක් වීමට මෙන් බෙංගාල බොක්කේද පුර්ණ සහය සහිතව දින ගණනක් දරාගත නොහැකි අනෝරා වැසි පතිතවුණි. පසුගිය ඉරුදින ඒ වැසි අනුභාවයේ උච්චතම බව මොනවට විදහා පාමින් නොනවත්වා හෝරා 24 ක්ම මහා වැසි පතිත විය.
අහෝ ප්‍රීතියකි...! සිදී ගිය වැව් අමුණු පිටාර ගැලිය. ජල පෝෂක පෙදෙස් සොම්නස් වෙමින්, වේලි කෙඩැරි වී දෙකට නැමී පණ අදිමින් සිටි වෘක්ෂලතාද  හිනැහී බැබලි කොදු දිගහැර අභිමානවත් විය. නමුත් ඒ සියළු සැනසිල්ල මොහොතකට සිමා කරමින් මහා වැනසිල්ලක් ආරම්භ විය.

නිමේෂයකින් මහා කදුකරයක පදාසයක් ඉන් වෙන්වී බිමට පැමිණ තවත් වරක් ගම් බිම් කිහිපයක පවුල් ගණනක්, අවමංගල්‍යය උත්සව නොමැතිවම, සදහටම පස් කදු යට වළලා දැමිය. සීඝ්‍රයෙන් ඉහළ යන මහා ජල කද තව දුරටත් කදුරට වේලි වලට හෝ රජරට වැව් වලට දරා සිටිය නොහැකි තැන වාන් දොරටු විවර වුයේ ඒවාටද රිසිසේ ගමන් ගැනීමට ඉඩ සැලසීමටය. තවත් එය එහි නොරැදී සයුර සොයා ඇදුණේ හැකි ඉක්මණින් ඇය හමුවීමටය.

දැන් ඒ මහා වියරු ජල කද ඇදෙන්නේ මාගේ දෙපා යටින්ය. මම මොහොතකට කොලොම්පුරත් සියනෑ ඉසව්වත් යා කරනා කල්‍යාණි නදිය මතින් නිමි මහා පාලම උඩ සිට කල්පනා ලොව නිමග්න වීමි.
අහෝ ඛේදයකි...! අකාරුණික ලෙස මහා ජල කදක් ගසාගෙන එන අයුරු දුටු විට, අපට ජීවනාලිය වන ජල සම්පතම, මෙලෙස රුදුරු රාක්ෂයෙක් බවට පත් වී සිටීමත් අතර ඇත්තේ කෙතරම් සුළු පරතරයක්ද යන්න මාගේ දෑස් ඉදිරියේම සත්‍ය වී හමාරය. ඊට සිත් පිත් නැති බව අසා තිබුනත් අද එය මටම මාගේ දෑස් අභියස ප්‍රත්‍යක්‍ෂ විය.

ඊයේ ගංගා ඉවුරේ පාලම යට දිවි ගෙවූ ඔවුන්ගේ ජිවිත අද පාලම උඩය. ටකරන් වහලෙන් සෙවිල කල ඔවුන්ගේ පාලම යට තිබු කුටුම්බය තිබු තැන ඇත්තේ එකම ජල තලයකි. ඒ වෙනුවට පාලම උඩ ඔවුන්ගේ ඇත්තේ හිසට සෙවන කෙටි ඉටි කොළයකි. නැතිනම් ආධාර ලද කුඩාරම් රෙද්දකි. ඊයේ පාලම යට අනෙක විධ ඇදුම් ආයිත්තම් වලින් සැරසී සිටි ඔවුන්ට අද ඇත්තේ නිරුවත වසා ගැනීමට එකම එක ඇදීවතක් පමණි. යට ඇදුම අමතක කොට උඩු ඇදුමට පමණක් ඔවුන් ඉඩ දී ඇති අයුරින් එය මනාව වැටහේ. පාලම යට මුඩුක්කුවේ වුවද කාටත් අත නොපා එදා වේල හරි හම්බ කර පුරුෂයන් පවා අද පාලම උඩ වාහන දෙසට අත පාන්නේ අසරණ යාචක විලාසයකිනි. පාලම යට වත්තේ ලොකු ලොකු අයියලා පවා අද හුළං ගිය බැලුන් මෙන් බයියලා වී ඇත.

ඒ කන්නට යමක් හෝ බොන්නට යමක් වෙනුවෙන්ය. ඔවුන් හට අපි ගැහැණුය හෝ අපි පිරිමිය කියා වෙනසක් නැත. බාල මහළු හෝ වැඩිහිටි කියාද වෙනසක් නැත. අනෙක විධ ආධාර රැගත් යාන වාහන පැමිණ පාලම මත නවතිත්ම ඒ වටා ඔවුන් රොක් වන්නේ ඔවුන් කවුරුන්ද යන්න පවා අමතක කර එක පොදියේ පොර කමින්ය. ඒවායින් ගෙනෙනා ආධාර අතර වියළි ආහාර, පානිය ජලය, ඖෂධ, ඇදුම් සහ රෙදි පිළි, සනීපාරක්ෂක උපකරණ වැනි අත්‍යවශ්‍යයම භාණ්ඩ බොහෝමයක් වේ. ශක්තිවන්තයෝ පොර බැද එම වාහන වෙතින් ආධාර ගෙන ඉන් ඉවත්ව යන විට පොර කෑමට බැරිවූ දුර්වලයා දැන් හුස්මක් කටක් ගෙන වාහනය වෙත නිවීහැනහිල්ලේ ලං වීමට සැරසුණා පමණි. නමුත් ඒ වන විට හිස් වාහනයක් පමණක් එතනින් පිටව යන්නේ, දුර්වලයා හට බොන්නට හුළං පමණක් ඉතිරි කරමින්ය.

මම පාලම මත මදක් ඉදිරියට ගියෙමි. හැඩි දැඩි කාය සම්පන්න පුරුෂයින් දෙදෙනකු යමක් වෙනුවෙන් පොර බදිනු මගේ නෙත ගැටුණි. වහා මාගේ අවධානය යොමු වුයේ ඔවුන් පොර බදින්නේ කුමකටද යන්නටයි. ඔවුන් දෙදෙනා මේ පොරබදින්නේ රන් රිදී වෙනුවෙන් නොවේ. මිල මුදල් වෙනුවෙන්ද නොවේ. එය මටම අදහා ගත නොහැකි විය. ඔවුන් පොර බැදුයේ එකම එක මිලි ලීටර් 500 යේ කුඩා පානිය ජල බෝතලයක් වෙනුවෙනි. මමද වහා මැදිවී ගැටුම සමථයකට පත් කොට පානිය ජල බෝතලය නිසි ලෙස හිමි විය යුතු අදාළ තැනත්තා හට අයිතිය ලබා දුනි.
ගැටුම අවසන් වුවද එහි මතකය නම් මා හට තවම අවසන් නොවිය. ඉතා දැඩි සුසුමක් හෙළු මම පාලම දිගේ ඉදිරියටම ඇවිද ගියෙමි. කිසිත් නොදත් ළදරුවන් මව් ඇකයේ නිදති. බාල දරු දැරියන්ද සහ හා හා පුරා කියා යෞවනයට අත වැනු දරු දැරියන්ද සිනා සෙමින් සිටින්නේ මේ විපතක් බව තවමත් ඔවුන්ගේ ලෝකයට බරපතල ලෙස නොහැගෙන නිසාය. ඒ සැමදාම පාලම යට නිවසේ දිවි ගෙවූ ඔවුන් හට යම් ලෙසක පාලම උඩ කුඩාරම නැවුම් අද්දැකීමක් වන නිසා විය හැක.

නමුත් වැඩිහිටි පිරිස් හට නම් එය කිසි ලෙසකින් සිනාසෙන්නට තරම් දෙයක් නොවන බව ඔවුන්ගේ හිස් වූ දෑස් මතින්ම පෙනේ. ඔවුන් ඊයේ පාලම යට සිට හීන මැවූ හෙට දවස දෙස අද පාලම උඩ සිට බලන විට ඔවුන්ට පෙනෙන්නේ  එය තවමත් ජලය මතින් ඈතට ගසා ගෙන යන අයුරුය. හෙටට රැස් කල සියල්ල මොහොතකින් අස් කල ගඟ දෙස බලා සුසුම්ලමින් සිටිනු මිස ඔවුන් වෙන කුමක් කරම්ද? මන්දයත් කුමක් කිරීමට වුවත් ඔවුන් අද දවසේ දිවි ගෙවිය යුතුය. ඔවුනට අද එය ඇත්තේ පාලම උඩ මිස ඊයේ මෙන් පාලම යට නොවන බව ඔවුන් ඉතා හොදාකාරවම දනී.

මේ අතර මම හොදින් තවත් පිරිසක් දෙස නිරීක්ෂණය කලෙමි. ඔවුන් වැඩිහිටියන් වුවද පෙර සේ පාලම යට ගසාගෙන ගිය දෑ ගැන කප්පරක් දුක් වන්නන්ද නොවේ. නැවත අහිමි වී ගිය තැන සිට ජීවිතය පටන් ගන්නේ කෙසේද යන්න ගැන ලතවෙන්නන්ද නොවේ. ඔවුහු ඒ මහා ජල කදට පෙම් බදිති. ඔවුන්ගේ පැතුම නම් තව බොහෝ දිනක් ඉහත්තාවට වැසි වසිවා... ගග තව බොහෝ කලක් පිටාර ගලාවා යන්නයි. මන්දයත් ජිවිත සටන සමග ගැටී හරි හම්බ කර කා බි සිටීමට වඩා, ආධාර මතම යැපීම ඔවුන් අනේ යහපති කියා සිතනා නිසාය. ඔවුන් බලාපොරොත්තු වන්නේ තව අවුරුද්දක් වුවත් මෙසේම ගඟ පිටාර ගැලුවොතින් හැමදාම පාලම උඩට වී ආධාර මතම කට බලියාගෙන සිටීමටය. අනේ මුන්ගේ මෝඩකමක මහත කියා මට ඔවුන් ගැන සිතුණි.

මම ඔවුන්ගෙන් ඈතට ගමන් කලෙමි. තවත් එක වරක් ඔවුන් දෙසත් ගඟ දෙසත් බැලීමි. එසේ බලා එතැනින් ඉවතටම ඉවත්ව ගියෙමි.

------------ පසු විපරම ------------

පෙරළා නිවසට පැමිණි මම මේ පිළිබද පසු විපරමක් කලෙමි. පළමුව මට පසක් වුයේ මෙයයි.

ව්‍යාසනයක් සමග පොරබදිනා කල්හි ජීවිතය රැක ගත හැකි අන්තිම මානය පෙනෙනා විට මිනිසා ස්වභාවයෙන්ම තම සහජ ගතිය ඉසමතු කර ගන්නා ආකාරයයි. එය නැවත අප අපගේ වනචාරි යුගය වෙත ගෙනයනු පෙනේ.
මා මෙහිදී විපතට පත් වූ අසරණයින් වනචාරි අශිෂ්ඨයින් ලෙස කිසි විටෙක අර්ථ ගන්වන්නේ නැත. නමුත් මා මෙහිදී ඉසමතු කරනුයේ මානව විද්‍යාත්මක කෝණයෙන් මා දකිනා කරුණයි.

ඒ කෙසේද යත්, කෑලෑ නිතිය තුළ සියල්ල අභිබවා නැගී සිටිය හැක්කේ කායික ශක්තිවන්තයා හටය. ඒ තුළ මානසික ශක්තිවන්තයෙක් නැත. කායික ශක්තිවන්තයාද ඒ නැගී සිටීම සිදු කරනුයේ, ජීවිතය රැක ගැනීම නමැති ප්‍රමුඛ අභිප්‍රාය උදෙසාම මිස වෙන කිසිවක් උදෙසා නොවේ. තව විදියකට පවසනවා නම් ඒ බඩ වියත රැක ගැනුම උදෙසාමය. ඒ අපි දන්නා මෙන්ම අපි හදුන්වන අශිෂ්ඨ අසංස්කෘතික සමාජීය ලක්ෂණයි.

ඉතා හැඩි දැඩි සිරුරු වලින් සපිරි මැදිවියට ආසන්න පුරුෂයින් දෙදෙනකු එක්තරා කුඩා පානිය ජල බෝතලයක් වෙනුවෙන්, කුඩා ළමුන් දෙදෙනකු මෙන් එකිනෙකා පොර බදිනා විට ගම්‍ය වන්නේ එය නොවේද? ඔවුන් පොරබදන්නේ පවතින තත්වය මත දිවි රැක ගැනීම උදෙසා හෝ ඔවුන්ගෙන් යැපෙන්නේකුගේ දිවි රැකීම උදෙසා බව මටද මනාව වැටහේ. නමුත් එසේ පොරබදින්නේ කවුරු හෝ වේවා ශක්තිවන්තයා අවසානයේ ඔහුට එය හිමිකරගෙන දිවි රැකගැනීම යන අශිෂ්ඨ ලක්ෂණය සදහා මිස සාධාරණ ලෙස එය ලැබිය යුත්තා හට එය හිමි කර දිය යුතුය යන ශිෂ්ඨ සම්පන්න ලක්ෂණය උදෙසා නම්  නොවේ. ආධාර රැගෙන එන වාහනය වටා රොක් වෙමින් පොරකා තමන් හට හැකි පමණ පොදිය රැගෙන තරුණ ශක්තිවනතයින් පිටව යන්නේ එම අශිෂ්ඨ ගුණය ඉසමතු වූ නිසා මිස දුරවලයා හටද ජිවත් වීමට අයිතිය ඇත යන්න වූ නියමයට ගරු කරනා ශිෂ්ඨ සමාජ ලක්ෂණය ඇති නිසා නම් නොවේ.

නමුත් මුඩුක්කුවක දිවි ගෙව්වද ඊයේ පාලම යටදී නම් එම ශිෂ්ඨ සම්පන්න ලක්ෂණ ඔවුන් තුළ අනිවාර්යෙන් ඉතිරිව තිබෙන්නට ඇත. එදා එකෙකු අනිකාගේ දුක වෙනුවෙන් පෙනී සිටින්නට ඇත. අනිකාගේ කුසගින්න උදෙසා තම බත් පත කැප කරන්නට ඇත. අනෙකාගේ දුකේදී තම සොච්චම දිගු කරන්නට ඇත. නමුත් අද පාලම උඩදී අනෙකාට හෙණ ගැහුවත් කමක් නැත. ජිවත් විය යුත්තේ තමන් පමණය යන තැනට ඔවුන් ඇද වැටුනේ මන්ද?

සත්‍ය නම් සියල්ල අහිමිව දිවි රැක ගැනීම පමණක් පෙනෙනා මානයේදී, මිනිසා හට තම සහජ අශිෂ්ඨ බව ඉසමතු වීමයි. එම අශිෂ්ඨ සමාජ සම්ප්‍රදාය පළමුව තම වරිගයා වෙනුවෙන්ද, ක්‍රමයෙන් ඉන් ලඝු කර තම පවුල වෙනුවෙන්ද, එතැනින්ද ලඝු කොට තමා වෙනුවෙන් පමණක්ය යන තැනට දක්වා කේන්ද්‍ර වේ.

සහජයෙන්ම අශිෂ්ඨ අපිව ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙනුවෙන් පුරුදු පුහුණු කරනු ලබන්නේ අධ්‍යාපනය සහ අධ්‍යාත්මික ගුණ වගාවයි. ඉන් සමාජීය සහ සංස්කෘතික වටපිටාව ගොඩනගනු ලබයි. නමුත් සියල්ල ගසාගෙන ගිය තැන සිදු වන්නේ කුමක්ද? අධ්‍යාපනයේ සහ අධ්‍යාත්මික ගුණ වගාවේ පදනම ශක්තිමත් නැති තැන එයද ගසාගෙන ගොස් තිබීමයි. මන්දයත් පාලම යට සියළුම භෞතික සම්පත් ගසාගෙන ගිය ජිවිත වල අධ්‍යාපන සහ අධ්‍යාත්මික සම්පත් පාලම උඩදී ගසාගෙන ගොස් ඇති අයුරු මා මැනවින් දුටු නිසාය.

සියල්ල අහිමිව හැදී වත පමණක් ඉතිරිව, අනාගතය පිළීබද බොදවූ ඡායාවක් පමණක් දිස්වන ජිවිත වලට බඩවියත රැකගැනීමට වඩා ප්‍රමුඛ අරමුණක් තවත් නැත. කොතරම් මහා පඩි වදන් වලින් පැවසුවද ඔය දේයම හෙට මට අනිද්ද ඔබට සිදුවුවහොත් අපද ඊට ප්‍රතික්‍රියා කරන අයුරු මිට දෙවැනි නොවන්නටද පුළුවන.

එසේ නම් මිට පිළියම ඇත්තේ කොතනද? මම ඍජුව ඇගිල්ල දිගු කරන්නේ පාලකයින් වෙතය. එනම් දේශපාලනය කරනවා යයි කියමින් දේශය පාළු කරනා සහ විටෙක දේශය පලු කරනා අඥාණ දේශපාලකයින් වෙතය. දැන් ඔබ මගෙන් මෙසේ අසන්නට ඉඩ ඇත. මොකද ආණ්ඩුව කියලා මොන බම්බුවක් කරන්නද? ගංවතුර නතර කරන්න කියලා ඒවා බොන්නද? ඒ දෙකම නොවේ. මන්දයත් ගඟ සැමදා මෙසේමය. නමුත් වෙනස් විය යුතු බොහෝ දේ ඇත. මේ මොහොතකට ඒ පිළිබද අවධානය යොමු කිරීම උදෙසාය.

පළමුව කිව යුත්තේ, මේ අප මුහුණ දෙන පළමු මහා ව්‍යාසනය නොවේ. අපේ කාලයේ මහා ව්‍යසනයක් ලෙස ස්වභාවික සංසිද්ධීයක් වෙත අප මුහුණ දුන්නේ මිට වසර 12 කට ප්‍රථම සුනාමි ව්‍යසනයේදීය.
ඊට පෙරද 1956 දී මහා ගංවතුර තත්වයකට අප මුහුණ දී ඇත්තෙමු. ඊට පසුත් මිට වසරකට පමණ පෙර ගමක් වැනසූ මිරියබැද්ද නායයාමට ද ජාතියක් සහ දේශයක් වශයෙන් අපට මුහුණ දීමට සිදුවිය.
මෙවන් වූ මහා විපත් රැසක් පසුකර ඇති අපගේ රාජ්‍ය යාන්ත්‍රණය තවමත් ආපදාවකදී එම තත්වය කළමනාකරණය කල යුතු අයුරු ගැන ක්‍රියා කරන්නේ ඉතා උදාසීන අන්දමින්ය. 1956 තරම් ඈත අතීතයේදී නම් මා ඉපදී නැත. එදා එම ආපදාව කළමනාකරණය කලේ කෙසේද යන්න මා දැක නැත. ඇසු පිරු කරුණු අනුව එදාද අදට වඩා වැඩි වෙනසක් නැත. එලෙස මහා ස්වභාවික විපත් රැසකට මුහුණ දී ඒවා පසුකල අපිට, ඉන් බොහෝ අද්දැකීම් ඇතත් සත්‍ය නම්,  සුනාමි ව්‍යාසනයේ සිට මේ දක්වා සිදුවූ සෑම ව්‍යසනයකදිම බොහෝ විට පිහිටට පෙරට පැමිණියේ පළමුව ත්‍රිවිධ හමුදාවය. ඊට අපගේ උත්තමාචාරය ඔවුන් වෙත හිමි විය යුතුය. ඔවුන් එම කටයුත්ත වෙනුවෙන් කර ගැසුවේ මාධ්‍ය ප්‍රචාර සදහා නොව ජාතියේ යුතුකමක් ලෙසය. කෙසේ හෝ වේවා සත්කාරයක් ලෙස හෝ දෙවනුව ඊට ඉදිරිපත් වන්නේ රටේ ප්‍රමුඛ ජනමාධ්‍ය ආයතනය කිහිපයකි. එයද යම් තාක්දුරට පැසසිය යුතු කරුණකි. එමනිසා ඔවුන් හටද අපගේ ස්තුතිය හිමි වීම වටී. තෙවනුව තවත් රාජ්‍ය නොවන සංවිධාන සහ පුද්ගලික පාර්ශව ඉදිරිපත් වුණි. ඔවුන්ටද අප ස්තුතිය හිමිවිය යුතුය. කෙසේ වෙතත් සියල්ල අවසානයේදී නම් රාජ්‍ය යාන්ත්‍රණය ඊට මැදිහත් වන්නේ නොවීම බැරි අන්දමක් පෙනෙන නිසාය. මන්දයත් මොකුත්ම නොකලොත් ආණ්ඩුවට දෝෂාරෝපණයේ ඇගිල්ල දිගු විය හැකි නිසාය. එම නිසා ඔවුන් සහන දීමට ඉදිරිපත් වන්නේ අසරණ ජනතාවගේ සහනයට වඩා වෙන්කළ ආධාර මුදලින් තමන්ගේ සාක්කුවටද පුරවා ගැනීමේ අසහනය පෙරදැරිවය. එම නිසා ඔවුන්ගේ වැඩපිළිවෙල අතීසාරයට අමුඩ ගැසීම වැනි නිස්සාර වැඩ පිළිවෙලක් බව පෙනේ.

තත්ත්වය මෙසේ වීමට ඉඩ නොදී, රටක ස්වභාවික විපත් හෝ වෙනත් මොනයම් හෝ ආපදාවකදී ආධාර උපකාර දීම උදෙසා කාටත් පෙර පෙරට පැමිණිය යුත්තේ රාජ්‍ය යාන්ත්‍රණයයි. අපදා කළමනාකරණය උදෙසා හෝ ඊට අදාළ කටයුතු උදෙසා  නමට පමණක් සීමාවී, මහජන මුදලින් සැප විදින අමාත්‍යවරු සහ රාජ්‍ය නිලධාරි මෙන්ම රාජ්‍ය ආයතනද රටේ ඇති මුත් මේ එකකින් වත් නිසි ලෙස කිසිදු සහනයක් හෝ අපදා කළමනාකරණයක් සිදු වී නොමැත.

සැබවින්ම නිසි ලෙස ක්‍රියාත්මක වී එම රාජ්‍ය යාන්ත්‍රණය යුහුසුළුව පෙරට පැමිණියේ නම්, පාලම උඩ ආධාර බෙදිය යුත්තේ පෞද්ගලික ආයතන හෝ පුද්ගලික පිරිස් හෝ සත්කාරයට වඩා ප්‍රචාරණය අරභයා එකෙකු පරයා තවකෙකු වර්ණනා කරමින් සංවිධාන ශක්තිය පෙන්වනා රාජ්‍ය සහ පෞද්ගලික ජනමාධ්‍ය ආයතන හෝ නොවේ. කල යුතු දෑ වන්නේ ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයන් මගින් ඉතා විනිවිද භාවයකින් යුතුව,මේ සියල්ලෙන්ම සමස්ථ වශයෙන් එම ආධාර කේන්ද්‍ර වන පරිදි ඒකරාශී කොට, ඒවා නිසි ලෙස සාමානාත්මක අයුරින් බෙදී යන ලෙස සකසා, රාජ්‍ය පරිපාලන නිලධාරීන් වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් වරු ඔස්සේ දත්ත වාර්තා කඩිනමින් ලබා ගෙන සැබවින්ම අපදාවන්ට ලක්වූ පිරිස් වෙත, නිසි ලෙස කඩිනමින් ඒවා බෙදා දීමයි. එවිට එම වැඩපිළිවෙල කඩිනම් කිරීම සදහා ස්වේච්ඡා සේවය වුවද ලබාගැනීමට හැකියාව නොමදව පවතී. එසේම අසරණ වුවන්ගේ කරමතින් ප්‍රචාරණ වාසි ලැබීමේ පටු පරමාර්ථයද පරාජය වේ. නිසි සහනය විනිවිද භාවයකින් යුතුවද ලැබේ.  එසේනම් පාලම උඩ ආධාර බෙදෙනා ආකාරය නිසි ලෙස ලැයිස්තුගත පිළිවෙලකට ක්‍රමවත් වන නිසා අශිෂ්ඨ සමාජ ලක්ෂණ ඉසමතු වීමට ඉඩ පැදෙන්නේ නැත.

ඒ වෙනුවට අද රාජ්‍ය යාන්ත්‍රණය මගින් සිදුවන්නේ මතුපිටින් රගපාන අමු මගඩියකි. මහා භාණ්ඩාගාරයෙන් අච්චාර වෙන් කලාය, මෙච්චර වෙන කලාය කියමින් පට්ට කෙබර බේගල් ඇද බාති. මොහොතකට අවතැන්වුවන් වෙත යන දේශපාලකයින් ජනමාධ්‍ය අටවා ගෙන තමන් පිහිටට පැමිණි බව ලෝකයට පෙන්වන නාට්‍යය රග දක්වති. දන්නා හදුනන ව්‍යාපාරිකයින් ලවා උන් ආධාර ඉල්ලා ගෙන ඒවා තමන් දෙන ඒවා සේ රඟ දක්වති. එසේ කොට අසරණයින්ගේ විපත විකුණන් කා තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නංවා ගැනීමේ තුට්ටු දෙකේ ව්‍යාපාරය සරි කර ගනී. අන්තිමට යන අතරමග කියන්නේ ආ එයාලට ඔය ඕනේ තරම් ලැබෙනවානේ... ඔය දෙන්නේ ගොඩක් අය, අපි කරන දෙයක්... වතුර බැස්සම බලමු කියාය. අඩුම තරමේ දින කිහිපයක් පිසූ ආහාර නොමැතිව දුක් විදි ජනතාව දෙස දෑස් හැර බැලීමට තරම්වත්  අත දිග හැර මේ වෙසක් සමයේ දන්සැල් වල විවෘත කිරීම සදහා යන දේශපාලුවෝ එකෙක්වත් කාරුණික වුයේද නැත. එසේනම් එම අශිෂ්ඨ ලක්ෂණ පාලම උඩට ගෙන ආවට මේ ජඩ අධම දේශ පාලකයන්ද අනිවාර්යෙන් වග කිව යුතුය.

දෙවැන්න නම්, ඊටද පාලකයින් අනිවාර්යෙන් වග කිව යුතුය. ගංගා ආශ්‍රිතව ලෝකයේ ඉපැරණි ශිෂ්ඨාචාර බිහිව ඇති බව අපි ඉතා හොදින් දන්නා කරුණකි. නයිල් නිම්න, ඉන්දු නිම්න, හොවැන්හෝ නිම්න වැනි ශිෂ්ඨාචාර ඊට කදිම නිදසුන්ය.

චීනයේ හොවැන්හෝ නදිය යනු කැළණි ගඟ මෙන් කිහිප ගුණයක් විශාල මහා නදියකි. වර්ෂාව බහුල කාලයක ගඟේ ඉහත්තාවට වැඩි වර්ෂාපතනයක් ලැබෙන විටදී, ඕනෑම ගඟක ජලමට්ටම වැඩිවී එය පිටාර ගැලීම ස්වභාවික සංසිද්ධීයකි. හොවන්හෝ නදියද එලෙසම අතීතයේ සිට සෑම වසරකම එක් සැරයක් හෝ දෙගොඩ තලා පිටාර යමින් ගග දෙපස නිම්නයේ බොහෝ ප්‍රදේශ යට කර දැමුවද, එයින් සිදුවන්නේ එම ගඟ දෙපස ඇති වගා බිම් වල පස සාරවත් කිරීමටය.  මන්දයත් එවැනි ගංගා දෙපස ඇත්තේ වගා බිම් මිස, එකිනෙක යාබද තැනුණු මිනිස් ජනාවාස නොවේ.

කැලණි ගඟ මුහුදට වැටීමට ආසන්න ප්‍රදේශයේදී සීඝ්‍ර නාගරීකරණ රටාව හේතුකොටගෙන චිරාත් කාලයක් තිස්සේ මුඩුක්කු සංස්කෘතියේ ජනාවාස බොහොමයක් බිහිවී ඇත්තේ, ගඟ ඉවුරේ දෙපසය. තත්වය කෙතරම් උත්සන්න වී ඇද්දයි කියනවා නම් සමහර ඉවුරු පෙදෙස් වල වගුරු බිම් ගොඩ වෙමින් ජනාවාස පමණක් නොව වාණිජ්‍ය පුරවර බවටද පත්ව ඇත.

ඔබ දන්නවාද, යටත් විජිත යුගයේ සහ ඉන් එපිටත්, මෙම ගග දෙපස මාවත් තිබුණද එම මාවත් අද්දර මෙවැනි ජනාවාස ඉදි කර නොතිබුණු බව. මන්දයත් ඒවා එකල තනිකරම ගංගා නිම්නය දෙපස වගා බිම් පමණක් වූ අතර, එකලද මහා වැසි ලැබුණු විට ගඟ උතුරා ගිය බැවින් එහි සැටි දන්නා පිරිස් ඒ අවට පදිංචි වීමට උත්සුක වුයේ නැත.
නමුත් වර්තමානය වන විට, නිර්ධන පන්තියේ සියල්ලම තීරණය කරන මුලික ලියවිලි සාධකය වී ඇත්තේ ජන්ද නාම ලේඛනයයි. පාලක පන්තියේද පැවැත්ම නමැති සාධකයද තීරණය කරනා මුලික ලියවිල්ලද එයයි. එහෙයින් ඒ උදෙසා දේශපාලන අතකොළුවක් කර ගත් ජිවිත සදහා උරුම වූ කරුමය නම් ගඟ දෙපස මුඩුක්කු ජීවිතයි. එම ජිවිත උරුම කරගත් ඔවුන් හටද දැන් එම කරුමයෙන් ගැලවීමට බැරි තරමට ඔවුන් ඊට අනුගාත වී සිටි. නමුත් එහි ආදීනව ඔවුන්ට වටහා දී ඔවුන්ගේ ජිවිත සුඛිත මුදිත කරනවාට වඩා ඔවුන්ට රිසිසේ ඉන්නට ඉඩ හැර ඔවුන්ගේ කතිරය මතින් සැමදාම බාල් නැටිය හැකි නිසා පාලකයෝද ඔන්න ඔහේ යටවුනාවේ, ඉදලා හිටලානේ යන ප්‍රතිපත්තිය අනුගමනය කරති. අශිෂ්ඨ බව වගා කොට බඩ වඩා ගන්නා අශිෂ්ඨ පාලකයෙනි, නුඹලා දැන්වත් මේ විගඩම නතර කල යුතුය. ඔවුන්ගේ දෑස් පාද ඔවුන්ගේ ජිවිත වලට ස්ථිරසාර විසදුම ලබා දිය යුතුය. එසේ නොමැතිව නුඹලා කල යුත්තේ ගසාගෙන ගිය ඔවුන්ගේ ජිවිත නැවත යථා තත්වයට පත් කර ගැනීම උදෙසා ඔබගේ පටු දේශපාලන අතකොළු ලෙස භාවිතා කරමින් තව දුරටත් ඔය මුඩුක්කුවේම ජිවත් කර නැවත දිනක ඔවුන්ව අසරණ කොට මේ පාලම උඩට ගෙන එම නොවේ.

තෙවැන්නටද මේ ජඩ දේශපාලනය වග කිව යුතුය. දැනට ලැබී ඇති වාරි දත්ත අනුව ලංකාවේ පලලතම ගඟ වන්නේද කැළණි ගඟයි. ගඟ විසින් එම පළල නියෝජනය කරන්නේද මෝදරින් මුහුදට වැටීමට ඇති අවසාන සැතපුම් 10 ක පමණ දුර ප්‍රමාණය අතරතුරය. ගගක ජල ධාරිතාව නිසි අයුරින් පවත්වා ගැනීමට නම් ගංගා පතුලේ පිහිටීමද ඊට මානව දායක වේ. එහි පිහිටීමේ ස්වහාවික තත්වය මත ජලගලනයේ රිද්මය හටද යහපත් බලපෑම් ඇති කරයි.

නමුත් අවශ්‍යතාවයන් අභිභවා ගිය පටු දේශපාලනික අරමුණු සහ තම සහචරයින් හට කොන්ත්‍රාත්තු ලබා දෙමින් තම මඩිය තර කර ගැනීම සහ ගසා කෑම් යන තුච්ඡ අරමුණු නිසාවෙන්, ස්වභාවික පිහිටීමට දැඩි හානි සිදුවන අයුරින් චිරාත් කාලයක් තිස්සේ සිදුකල වැලි ගොඩදැමීම්ද මිට බලපෑ ප්‍රබල සාධකයකි. අවිධිමත් වැලි ගොඩ දැමීම මගින් මෝය කටට වඩා ඊට මෙපිටින් පිහිටි ගංගා පතුල ගැඹුරු වීම නිසා ස්වභාවික ජලගලන රිද්මය වෙනසකට භාජනය වන අතර, එමගින් ජලවේගයේ පීඩන මට්ටමේ ස්වභාවයද වෙනස් වීම නිසා පිටාර ගැලීමට ඇති ඉඩ කඩ වාඩාත් වැඩි කරයි.

එපමණක්ද නොව ආත්මාර්ථකාමී පටු වාසි මෙන්ම සමස්ථ ජන්ද වාසිය ආරම්භයා, ස්වභාවික ජල බැස්මට මහෝපකාරී වන ගඟ දෙපස ඇති වගුරු බිම් සහ වගා බිම් ගොඩ කරමින් ඉදිවන අනවසර සහ අවිධිමත් ඉදිකිරීම්ද මෙම තත්ත්වය ඇති වීමට බලපෑ තියුණු සාධකයකි.
එසේනම් මේවාට වගකිවයුත්තෝ කවරහුද? එකක් නම් නිසැක වශයෙන්ම කිව හැක. ඔවුන් ඊයේ පාලම යට සිටි අයද නොවේ. ඔවුන් අද පාලම මත සිටින අයද නොවේ. ඔවුන් දිනපතා පාලම මතින් යනෙන අයද නොවේ.
ඔවුන් නම් එදා සිට අද දක්වා දියවන්නාව නමැති මඩ ගොහොරේ මැද ස්වේත වර්ණයෙන් සහ බටහිර ඇදුමින් සැරසී සිටිනා අමන එවුන්මය. ජනයෙනි මේ කඩතුරා හැර සත්‍ය දකින්නට කාලයයි.


-    රංග ශ්‍රී පිරිස් -

No comments:

Post a Comment